Tuesday, June 12, 2012

බටපොලයා පන්සල් ගිය වගයි!

මෙවර පොසොන් පෝයට දින කීපයකට පෙර සිට අපේ ගෙදර අමුතු විය.පෝයටද පන්සලකට නොයන එකා මොකාද එකා කියා කතාවක් ඇත්තේලු.එනිසා කෙසේ හෝ මාව මේ පාර නං පන්සල් යවන්නට ගෙදර ඔක්කොම හෙන පැලෑන් ගසති,රහස් සම්මන්ත්‍රණ තියති.යුධ සාකච්ඡා තබති,රහස් කතා,යටිකූට්ටු වැඩ නං අඩුවක් නැත.මම අඩිය තබා ඇවිද්දේද පරිස්සමෙනි.කෑම කන්නේද රස පරීක්ශක වාර්ථාව ආ පසුවය.නිදියගැනීමට පෙර ජනෙල් දොරවල් වසා ඇඳ අසල උගුල් කීපයක් අටවමි..
මට ෂුවර්ම නැති එකා නම් අපේ අයියාය..වැස්සකටවත් පන්සල් යන්නේ නැති මුත් මාව පන්සල් යැවීමට වැඩිම බැතිබර දායකත්වය ඒ මාර පුත්‍රයාගෙනි.අක්කා සහ මල්ලී නම් මගේ පැත්තේය.මල්ලී මට සපෝට් කරන්නේ විස්සේ චොකලට් හා වොන්ඩර් බාර් ආදිය කෑමට මා හැර වෙන පිලිසරණක් නැති නිසාය..අක්කා සපෝට් කරන්නේ ඇයිදැයි මම දන්නේ නැත.ගුප්ත බැවින් ඔක්කොටම වඩා එයාගෙන් පරිස්සම් වීමටද සිදු වී ඇත.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වීමට බැරි නැත..අපේ අයියා එහෙම මොලකාරයෙකි.හැබැයි ඌට 2+2 කීයදැයි ඇසූ විට කියවෙන්නේම 6 ය.හරි උත්තරය 5 කියා ඕන පොඩි එකෙක් දනිති..........

අන්තිමට ගෙදර විජාතික බලවේග වල උත්සහය සාර්ථක විය.මට පන්සල් යාමට සිදුවිය.
මියෙම්වා රැකෙම්වා කියා බුදුගුණද සිහිකරගෙන මම පන්සලට ගියෙමි..
බටපොල පන්සලේ ඇති පඩි නැගීමට කිලෝ ජූල් 1200 පමණ වැය වේ..අපරාදෙ කාපු කෑම ටික!

මට ඕන වූයේ ලොවට පෙනෙන්නට මලක් දෙකක් පූජ කර ශේප් වීමටය..එහෙත් මගේ කරුමයට ලොකු හාමුදුරුවෝ මාව දුටු සේක.

"ආ චූටි මහත්තය පන්සල් ඇවිත් තියෙන්නෙ.මොකෝ පාර වැරදුණා වත් ද?"
"න් නෑ නෑ අපෙ හාමුදුරුවනේ..ම මම මේ...මම මේ නිකම් ආව.."මට කියැවිණ.
මේ වගේ අවස්ථාවලදී සියලු පද්ධති ක්‍රියා විරහිත වී යාම සාමාන්‍ය දෙයකි.මගේද රැම් එක පවා අප්සට් ගියේය.

"චූටි මහත්තය කාලෙකින් නෙ පන්සල් ආවෙත්..එමුකො ආවාසෙ පැත්තෙ.."
ලොකු හාමුදුරුවෝ මට ඉස්සර වූ සේක.මමද අණ පිලිපැද්දෙමි.
ආවාසයට ගිය උන්වහන්සේ බුලත් විටක් හපන්නට වූවෝය..මම පසෙකට වී ඇඹරී ඇඹරී සිටියේ මෙතනින් පැන ගන්නේ කෙලෙසකදැයි දහ අතේ කල්පනා කරමිනි..එකක් වත් හරි යන්නේම නැත.
"චූටි මහත්තය පන්සල් ආවෙ මේ මං හිතන්නෙ සෑහෙන කාලෙකිං...එහෙම නේද?"
බුලත් කෙළ පහරක් මිදුලට විද්ද ලොකු හාමුදුරුවෝ ඇසූහ.

"එහෙමයි අපෙ හාමුදුරුවනේ,අවුරුදු දහයකින් විතර.අර....අර........ බුද්ධ පූජාවට තියපු පළතුරු වලට අනුමෝදන් වෙලා අහු වුණාට පස්සෙ.......
මේ...මේ ආවමයි."

"ආ ඒ පොඩි ළමයි නොදැනුවත්ව කරන ඒවනෙ චූටි මහත්තයා.
එදයින් පස්සෙ මම පොඩි මහත්තයව දැක්කෙත් නෑ..හැබෑටම උන්නැහෙ දැං මොනවයි කරන්නෙ?"
පොඩි මහත්තයා යනු අපේ අයියා කාරයාට ලොකු හාමුදුරුවෝ කියන නමය.
බුද්ධ පූජාවේ සිද්දියේදී නායකයා වූයේ ඌය.ඒත් අහු වුනේ අහිංසක මමය.
ඌ කරන දෙයක් නැත.ගෙදරට වී පච කෙල කෙල සිටීම නම් නියමෙටම කරයි.පොඩි උන්ට නම් ඒ කතා  මැජික්ය.ඒත් මම ඌව සත පහකට ගණන් ගන්නේ නැත.
මොක උණත් නම්බුව බේරගන්නෙපැයි...

මට ජීවිතයේ ප්‍රථම වතාවට බොරුවක් කියන්නට සිදු විය!

"අපෙ හාමුදුරුවනෙ.අයියා මොකක්දො කොම්පියුටර් කෝස් එකක් කරනවා.."
"එහෙමද,හොඳා හොඳා,හැම දේම ඉගෙනගන්නෝන නේ..බුදු හාමුදුරුවොත් ඒවත් අනුදැන වදාරල තියෙනවා.."
"හෑ!! කොම්පියුටර් කෝස් කරන්නත් කියල උන්නාන්සෙ කිව්වද?"
මම මෙතෙක් වේලා ඇස් පහර එල්ල කරගෙන සිටි අම්බපාලියගෙන් ඇස් අහකට ගත්තෙමි...
"මොකක්?උපාසක මහත්තයට ඔල්මාදෙද?බුදු හාමුදුරුවො කොහෙද එහෙම කියල තියෙන්නෙ ඈ?"
ලොකු හාමුදුරුවෝ මා දෙස මාර බැල්මක් හෙලූ සේක.
"නෑනෙ නේද අපෙ හාමුදුරුවනේ,මම ඔබ වහන්සේගෙන් අහන්න හැදුවෙත් ඒකමයි"
මම ඇඟ බේරාගත්තෙමි.

"හ්ම්ම්..චූටි මහත්තය කාලෙකින් පන්සල පැත්තෙ ආව එකේ පිනක් දහමක් කරගෙනම යමුකෝ..මේක අරන් මගෙත් එක්ක ආවනම්..."
කියූ ලොකු හාමුදුරුවෝ පැන් කෙණ්ඩියක් මට පෙන්නූහ.මමද එය දෑතින්ම ගෙන බුදු හිමි පසුපස පාත්‍රය ඔසවාගෙන ගිය නන්ද කුමරු මෙන් උන්වහන්සේ පසුපසින් ගියෙමි.ලොකු හාමුදුරුවෝ කෙළින්ම වැඩියේ බණ මඩුවටය..!
සෑහෙන සෙනඟක් එහි වාඩිවී සිටිති.
හාමුදුරුවෝ ධර්මාසනය මත වැඩ සිට පිරිස ඇමතූ සේක.

"අද මේ චූටි මහත්තයා උපාසක තැන පන්සල් ඇවිත් ඉන්නවා.හුඟ කාලෙකින් ඇවිත් තියෙන්නෙ.ඉතින් අද ධර්ම දේශනාවෙ මූලික දායකත්වය මෙතුමාට පවරනවට කවුරුත් අකමැති නෑ නේද?
මේ පින්වතුන් සාධුකාරයක් දෙන්න එහෙනම්"

පිරිස එක හඬින් සාධුකාර දුන්හ!

"මාව මරන්නද ඇහුවම සාධු කියන උන්.. !@#$%"
මට පෝය අදයැයි අමතක විය.

"එහෙනම් උපාසක මහත්තය මේ පිරිස ඉදිරියෙන් වාඩිවෙන්න.හූමිටි තියන්නත් බාර වෙන්නෙ ඔබතුමාටම තමයි,හරි නේද"
කිවූ උන්වහන්සේ ධර්ම දේශනාව පටන් ගත්හ...

දැං අහපල්ලකො බණ..!ඒ මදිවට හූමිටි තියන්නත් වෙලා!!
මටද වෙන්නේ අර කාටද වූවා වැනි වැඩය.

"පින්වතුනි ඔන්න එකමත් එක කාලෙක බරණැස් නුවර හිටිය බ්‍රහ්මදත්ත කියල රජ කෙනෙක්....."

"අවසරයි අපෙ හාමුදුරුවනේ,මොන බ්‍රහ්මදත්තද?"මම ඇසීමි.

"උපාසක මහත්තය ඉස්කෝලෙදි ඉගෙන ගෙන නැද්ද බරණැස් නුවර බ්‍රහ්මදත්ත?"

"නෑ අපෙ හාමුදුරුවනේ,මං අහන්නෙ කීවෙනියද කියල,හැම ජාතක කතාවකම බරණැස් නුවර බ්‍රහ්මදත්ත කෙනෙක් ඉන්නවනෙ"

"ඒව මම දන්නෙ නෑ උපාසක මහත්තය,අපි දැන් බණට...."

"දැං ලංකාවෙ නම් සබ් ඩොමේන් එකක් තියෙනවනෙ නමට ඉස්සරහිං.වී වන මහින්ද  වීඅයි වන මහින්ද  අයි වන පරාක්‍රමබාහු අයි අයි වන පරාක්‍රමබාහු වාගෙ..!
ඒ කාලෙ කොහොමද දන්නෙ නෑ නාමකරණය කරෙ,අනික ඉන්දියාවෙ රෝමන් ඉලක්කම් පාවිච්චි කරලත් නෑ.ඉන්දියාවට මහාවංශෙකුත් නෑනෙ!
චූලවංශෙ,රාජාවලියක් ,සකස්කඩක්,සිරිත්මල්දමක්,............"

" -චූටි මහත්තය මමයි මෙතන බණ කියන්නෙ"

ධර්මාසනයෙන් මඳක් ඉදිරියට නැමුණු හාමුදුරුවෝ මට පැවසූහ.

"එහෙයි අපෙ හාමුදුරුවනේ..."
මම කට පියා ගතිමි.

"පින්වතුනි මේ බ්‍රහ්මදත්ත රජතුමාට හිටිය දෙලක්ෂ සයානු දහසක් බිසෝවරු...."

"හත්දෙයියනේ.............!!! "
මට වාඩි වී සිටි පැදුරෙන් ඉබේම නැඟිට්ටවිණ.
මා ලඟ සිටි උපාසක මහත්වරු මාව ඇද නැවත පැදුරෙන් වාඩිකරවූහ.

"මොකෝ උපාසක මහත්තය,ගෝනුස්සෙක් වත් කෑවද?"
ලොකු හිමියෝ වටාපත මෑත්කර මගෙන් ඇසූහ.

"අපෙ හාමුදුරුවනේ එයාට තනියම එච්චර ගොඩක්........?"
මට මා ගැනම හටගත්තේ මාර දුකකි,වෛරයකි,මෙව්වා එකකි..
මෙච්චර කල් ඉඳ මට එකම එක කෙල්ලෙක් වත් සෙට් කර ගන්නට බැරිවිය.බ්‍රහ්මදත්තයාට දෙලක්ශ අනූ හය දාහක්..මූට හෙන ගහන්නෙපැයි යකෝ..!!
මට ඉබේම කෙඳිරි ගෑවිණ..

"රජ්ජුරුවන්ට තිබුණා චූටි මහත්තයා අන්තඃපුරේ කියල එකක්.ඒකෙ තමයි බිසෝවරු හිටියෙ..."
"ඉතිං හාමුදුරුවනෙ එයාට කොහොමෙයි ඔච්චර කෙල්ලො සෙට් වුණෙ..........."
"ලස්සන ගෑනු කෙනෙක් දැක්කම රජ්ජුරුවො එයාව කරකාර බැඳ ගන්නවා."
"එතකොට රටේ අනිත් පිරිමින්ට ඉතුරු වෙන්නෙ වැඳිරියො වගේ ගොරක ගෑනු?ඒක හරි වැඩක්නෙ.මානව හිමිකම් වලට ඒක පටහැනියි.අනික මේච්චර ගෑනු ගොඩක් හිරකරගෙන ඉන්නවට විරුද්ධව ඕන නම් යුධ අධිකරණෙට උනත් යවන්න පුලුවං.."
මම නඩුකාරයෙකුටත් වඩා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටියෙමි.
"මේ අමු අමුවේ මානව හිමිකම් කැඩීමක්,මම ජිනීවා යනවමයි අපෙ හාමුදුරුවනෙ..යන එක යනවා ඔය කලවැද්දට විරුද්ධව....."
"උපාසක මහත්තයා............."
"එහෙයි අපෙ හාමුදුරුවනේ"
"අපි දැන් බණට..................."
"මට තව ප්‍රශ්ණයක් තියෙනව ලොකු හාමුදුරුවනේ"
මම බැගෑපත් වුණෙමි.
"ඉතින් ඔහොම එක දිගට ලස්ස ගානක් ගෑනු ගෙනාවම රජ්ජුරුවන්ගෙ අම්ම තාත්තල මුකුත්ම කිව්වෙ නැද්ද..
දෙයි හාමුදුරුවනේ දෙලක්ශ අනූ හයදාහක් කිව්වම කජු ඇටද කොස් ඇටද......!!!"

මට බ්‍රහ්මදත්තයා ගැන මරන්නට තරම් ඉරිසියාවක් ඇතිවිය.අසමජ්ජාති !@#$%#$@ රජෙක්නෙ යකෝ මූ!

"එහෙම නරකක් කියන්න තරම් වැඩ රජතුමා කරේ නෑනෙ උපාසක මහත්තයා"
"අපි ගෑනු ළමයෙක් දැකල කතා කරාම අම්මල තාත්තල කචල් දානව..අපිට නරකයි,බ්‍රහ්මදත්තයට හොඳයි...."
"මේ උපාසක මහත්තයා,මට මේ දේශනාව.............."
"ඉතින් හාමුදුරුවනෙ ඒ කාලෙට සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට වෙන වැඩක් තිබ්බෙ නැතුව ඇති නේද,අන්තඃපුරේ ජන සංගණන තියනවට වඩා.....?"
"ඒ කාලෙ කොහෙද උපාසක මහත්තය සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තු තිබ්බෙ?"
"ඒකත් ඇත්ත නේන්නම් අපෙ හාමුදුරුවනෙ.."
මට කියැවිණ..

"ඔන්න මේ රජ්ජුරුවො දශ රාජ ධර්මයෙන් රාජ්‍ය විචාරණ......"

"මට ඒකනම් පිළිගන්න බෑ හාමුදුරුවනේ"
මම අත ඔසවා ප්‍රකාශ කලෙමි.

"ඒ මොකෝ උපාසක මහත්තයො?මේව මේ බණේ තියෙන දේවල්"

"දෙලක්ශ අනූහයදාහක් ගෑනු තියාගෙන බ්‍රහ්මදත්තය කොහොමෙයි හාමුදුරුවනෙ දශරාජ දර්මයෙන් රාජ්‍ය කරන්නෙ?රජ කරන්න කොහෙන්ද ඒ මිනිහට වෙලාවක්..දෙලක්ශ අනූහයදාහක්!..බුදු අම්මෝ!!"

"රාජ්‍ය පාලනේ කියන්නෙ බොහොම සංකීර්ණ දෙයක් මහත්තයා.."

"ඇත්ත වෙන්නැති හාමුදුරුවනේ..ඒත් දෙලක්ශ අනූහයදහක් ගෑනු ඉඳපු මිනිහෙකුට රාජ්‍ය පාලනේට තියා මූණ හෝදගන්නවත් වෙලාවක් කොහෙන්ද හම්බුවෙන්නෙ?ඉතිං මං කොහොමෙයි බ්‍රහ්මදත්ත  දසරාජ ධර්මයෙන් රට පාලනේ කරා කියල පිළිගන්නෙ?මට එච්චර ඕනෙ නෑ.පන්සීයක් ඇති මට නම් මූණ වත් හෝදන්න වෙලාවක් නැතිවෙන්න..."

"උපාසක මහත්තය මේ.............!! "

"අපෙ හාමුදුරුවනේ ඔය දෙලක්ශ අනූහය දාහ හැමදාම එකම ගානට තිබ්බද,නැත්තං කාලෙන් කාලෙට අඩු වැඩි..............."

"චූටි මහත්තය,මීට පස්සෙ පන්සල හතර මායිමක පස් පාගනව එහෙම නෙමෙයි!,
යන්නයි කිව්වෙ පන්සලෙන්!!!"

"එහෙයි අපෙ හාමුදුරුවනේ"
මම හඬ නඟා කීවෙමි.
මෙතෙක් වේලා නින්දේ සිටි උපාසක පිරිස ඉන් අවදිව සාධුකාර දුන්හ!

"නියම බණ ටික"

"අද තමයි බණක් කියල හරියට ඇහුවෙ"

"අද නම් තේරෙන්නම කියල දුන්න අපෙ හාමුදුරුවෝ,බුදුබව අත්වෙන්න ඕන ඒ උත්තමයට,යමල්ල යමල්ල දැන් ටී වී එකෙත් ටෙලි නාට්ටි පටන් අරන් ඇත්තෙ"
කියූ උපාසක පිරිස නැගිට ධර්මශාලවෙන් පිටව ගියහ..

මමද ස්වාමීන් වහන්සේ මා උදෙසා වදාළ අණ පිලිපැද්දෙමි,නැවත එක වරක් වත් පස්ස හැරී බැලුවේ මා නම් නොවේ....



*ප.ලි
මෙහි සඳහන් කිසිම දෙයක්,අකුරක්වත් බුදු දහමට අපහාසයක් පිණිස පළ කරන ලද්දක් නොවේ..මාගේ දිවි පරදුවට තබා ඒ ගැන සහතික වෙමි.මෙහි ඇත්තේ මා හට ලාවට විඳින්නට වූ සිදුවීමක් මත පදනම් වූවකි..මා මාගේ ආගමට අපහාස කරන්නේ නැත..

ඕන කෙනෙක් ඕනමනම් වැරදියට හිතාගන්න එකයි ඇත්තෙ.හිත හොඳ අයට ඇත්ත තේරෙනවනෙ...